ඔබ තුළම සිටින නිහඬ මරුවා පිලිබද දැනුවත්ද-අධි රුධිර පීඩනය පිලිබද දැනුවත් වෙමු 

ඔබ දන්නවාද? සෞඛ්‍යය අමාත්‍යාංශයේ නවතම දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ වලින් 83% කටම හේතුව බෝ නොවන රෝග බව. ඒ අතරින් බහුතරයක් අධික රුධිර පීඩනය නිසා සිදුවන මරණ බව. මෙම නවතම දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනයෙන් 35%ක් ම අධික රුධිර පීඩනයෙන් පීඩාවිදියි. නමුත් බරපතලම කාරණය නම් ඔවුන් බහුතරයක් තම රෝගී තත්ත්වය නොදැන සිටීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව හදුනා නොගත් අධික රුධිර පීඩනය නිසා වසරකට 60,000 ක් පමණ අංශභාග රෝගීන් වාර්තා වෙයි. ඒ අතරින් 4000ක් පමණ පූර්ණ අබාධිත තත්වයට හෝ මරණයට පත්වෙයි. 

අධික රුධිර පීඩනය කල්තියා හදුනාගන්නෙ කෙසේද?

බහුතරයක් රෝගීන් මූලික අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. වෙනත් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ගිය විට අහඹුවක් ලෙස අධි රුධිර පීඩනය හදුනා ගනී. ඇතැම් රෝගීන් හිසරදය, කරකැවිල්ල, ක්ලාන්ත ගතිය, ඇස් පෙනීම බොදවීම වැනි රෝග ලක්ෂණ පෙන්විය හැකිය.

අධික රුධිර පීඩනය හදුනාගන්නේ කෙසේද?

මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන්කල හැකිය. 

  1. ප්‍රාථමික අධික රුධිර පීඩනය – වයස්ගතවීමත් සමග ඇතිවන බහුතරයක් රෝගීන්ට පවතින්නේ මෙම තත්වයයි. 
  2. ද්වීතික අධික රුධිර පීඩනය – වෙනත් රෝගී තත්ත්වයක් නිසා මෙම තත්ත්වය ඇති වෙයි. තරුණ කාලයේ විශේෂයෙන් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන්ගේ අධික රුධිර පීඩනය හදුනාගත් විට මම කාන්ඩය පිලිබද විශේෂයෙන් අවධානය යොමුකලයුතුයි. 

සරලවම අවම වශයෙන් විනාඩි 30 ක කාලයක් විවේක හැනීමෙන් පසු රුධිර පීඩන මානයකින් පරීක්ෂා කලවිට රුධිර පීඩනය 140/90 mmHg වලට වඩා වැඩි නම් අධික රුධිර පීඩනය ලෙස සලකයි. නමුත් රෝගී තත්වයක් ලෙස සැලකීමට අවස්ථා කීපයකදී මෙලෙසින් අධික රුධිර පීඩනය හදුනාගත යුතුය. 

අධික රුධිර පීඩනය මෙතරම් බරපතල වන්නෙ ඇයි?

මෙම රෝගී තත්ත්වය දීර්ඝ කාලයක් පාලනය නොවී පැවතීමෙන් ඔබගේ ශරීරයේ ඉතා වැදගත් අවයව රැසකට හානි සිදුකර බරපතල සංකූලතා ඇතිකල හැකිය. ඒ අතරින් 

  1. අංශභාගය
  2. හෘදයාබාධ 
  3. අස් පෙනීම දුර්වල වීම හා අන්ධභාවය
  4. වකුගඩු ආබාධ  

ප්‍රධානම සංකූලතා වෙයි. මෙම සංකූලතා ඔබගේ ජීවිතය නැති වීමට තරම් ප්‍රබල සංකූලතා බව ඔබ දැනුවත් ද?

අධික රුධිර පීඩනය වළක්වා ගන්නේ හා පාලනය කරගන්නෙ කෙසේද? 

මේ සදහා සරල පියවර කීපයක් අනුගමනය කිරීම සහ අපගේ ජීවන රටාව වෙනස් කිරීම මගින් වඩාත් ඵලදායි ප්‍රතිඵල ලබාගැනීමට පුලුවන්. 

  1. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් සතියකට අවම වශයෙන් දින 5ක් ව්‍යායාම කිරීම
  2. දේහ බර නියමිත හිතකර සීමාවේ පවත්වා ගැනීම (BMI 18-23)
  3. ලුණු භාවිතය අවම කිරීම ( දිනකට වැඩිහිටි පුද්ගලයෙකුට භාවිතා කලහැකි උපරිම ලුණු ප්‍රමාණය තේ හැදි 1කි)
  4. හිතකර මේද සහිත ආහාර භාවිතය වැඩි කිරීම (කජු, රටකජු, අලිපේර) 

ඉහත ප්‍රතිකර්ම මගින් ඔබගේ රුධිර පීඩනය පාලනය නොවන විට ඔබගේ  වෙද්‍යවරයා විසින් ඔබගේ වයස සහ අනෙකුත් රෝග තත්ත්වයන් සලකා රුධිර පීඩනය පාලනය කරන ඖශධ නියම කරයි. මූලික අවස්ථාවේ එක් ඖශධයකින් ආරම්භ කර රුධිර පීඩනය අවශ්‍ය පරිදි පාලනය නොවුනොත් ඖශධ වර්ග 2ක් හෝ 3ක් දක්වා ඉහල දැමීමට සිදුවෙයි. එසේම කාලයත් සමග නිවැරදි පාලනයක් පවත්වා ගැනීමට ඖශධ මාත්‍රා වෙනස් කළ යුතුය . ඒ සදහා ක්‍රමවත් සායනයකට සහභාගි වීම වැදගත්‍ ය. 

අධික රුධිර පීඩනය මූලික අවස්ථාවේම හදුනාගෙන එය නිසි ආකාරයෙන් පාලනය කිරීම මගින් ඔබට මෙම බරපතල සංකූලතා වලින් වැලකී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකල හැකිය. එසේ නොවුනහොත් මෙම රෝගී තත්වය ඔබ තුළම සිටින ඔබගේ නිහඩ මාරයා බවට පත්වීම නිසැකය . 

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× Contact your Doctor