Vitamin c for skin

විටමින් C – ලස්සනට ඉන්න විටමින් C මේ තරම් වැදගත් ද?

විටමින් c ලස්සනට ඉන්න කැමති ඔයාට මෙතරම් වැදගත් කියල දැන සිටියාද?

විටමින් C කියන්නෙ අපි හැමෝම දන්න එදිනෙදා හමුවෙන සුලබ විටමින් වර්ගයක්. නමුත් මේ විටමින් වර්ගයෙන් ඔයාට මේ තරම් වාසි තියෙනව කියල ඔයා දැනගෙන හිටියද? අපි අද මේ ලිපියෙන් විටමින් C ගැන ඔයා දැනගන්න ඕන සියලු කරුණු ගෙන එන්න සූදානම්.

විටමින් C කියන්නෙ මොකක්ද?

විටමින් C වලටම කියන තවත් නමක් තමයි Ascorbic Acid කියල කියන්නෙ. අපි එදිනෙදා ආහාරයට ගන්න එළවළු සහ පලතුරු බොහොමයක සුලබ සංඝටකයක් තමයි විටමින් C කියන්නෙ. අපේ ශරීරයේ මංශපේෂි වර්ධනයට සහ කොලැජන් නිශ්පාදනයට විටමින් C කියන්නෙ අත්‍යාවශ්‍ය සංඝටකයක්. මේ නිසා මෙය තුවාල සුවවීමට වගේම පැහැපත් නීරෝගීමත් තරුණ සමක් පවත්වාගන්නත් ඉතාම වැදගත්. ඒ වාගේම විටමින් C කියන්නෙ ප්‍රභල ඔක්සිකාරකයක්. මේ නිසා අහිතකර සංඝටක හා UV කිරණ වලින් ඔයාගෙ සමට සිදුවන හානිය වලක්වා වයස්ගත වීම පාලනය කරන්නත් විටමින් C වලට හැකියාව පවතිනව.

විටමින් C ආලේපන කියන්නෙ මොනවාද?

බොහොමයක් සමේ ආලේපන නිශ්පාදන වල විටමින් C අන්තර්ගත බව සදහන් වෙනව. මේ විටමින් C විවිධ ආකාරයෙන් එම නිශ්පාදන වල අන්තර්ගත වෙන්න පුලුවන්. නමුත් මේ හැම වර්ගයක්ම එක්ම විදියට ප්‍රයෝජන ගෙන දෙන්නෙ නැහැ. L-ascorbic acid, magnesium ascorbyl phosphate, sodium ascorbyl phosphatem, ascorbyl palmitate, retinyl ascorbate කියන්නෙ මෙම නිශ්පාදන වල තියෙන සුලබ විටමින් C වර්ග කිහිපයක්. මේ අතරින් L-ascorbic acid කියල කියන්නෙ විටමින් C වර්ග අතරින් වඩාත් පිරිපහදුම සහ වඩාත් ප්‍රබලම වර්ගයක්. මෙම වර්ගය අපගේ සමට සම්පූර්ණයෙන් උරා ගන්න පුලුවන්. මෙම විටමින් C වර්ගය සමට ආලේපනය කල විගස සමට සම්පූර්ණයෙන් උරා ගන්නවා වාගේම එය සමේ පැය 72 කාලයක් පවතිනවා.

විටමින් C වලින් අපිට ඇති ප්‍රයෝජන මොනවාද?

විටමින් C වර්ගයක් වන L-ascorbic acid කියන ප්‍රභේදය අපේ සමට ප්‍රයෝජන රැසක් ලබාදෙන පුංචි ශක්ති බලාගාරයක් කියල හදුන්වන්නත් පුලුවන්. මෙමගින් සමේ ලප ඇතිවීම පාලනය, කොලැජන් නිශ්පාදනයට දායක වීම මගින් සම රැලි වැටීම හා වයසට යාම පාලනය, අහිතකර UV කිරණ මගින් සමට සිදුවන හානිය පාලනය වැනි වැදගත් වාසි රැසක් අත්කර දෙනවා.

Exfoliator එකක් ලෙස

Exfoliator එකක් කියන්නෙ අපේ සමේ පිටතින්ම පවතින මැරුණු සෛල ඉවත් කරන්න පුලුවන් ආලේපන. විටමින් C වල පවතින හිතකර ආම්ලිකතාවය නිසා ඉතාම හොද exfoliator එකක් විදියට විටමින් C අඩංගු බාහිර ආලේපන හදුන්වන්න පුලුවන්. මෙමගින් ඔයාගේ මුහුණේ මතුපිට පවතින මැරුණු සෛල ඉවත් කරල මුහුණට දීප්තිමත් සෞම්‍ය හා මෘදු බවක් ගෙනදෙනවා. ඒ වාගේම විටමින් C මගින් සමේ මෙලනින් නිශ්පාදනය පාලනය කරන නිසා ඔබට දීප්තිමත් සමක් ලබාගැනීමට උපකාරී වෙනවා. තවද දිනපතා භාවිතා කිරීම මගින් සම වයස්ගත වීමේදී ඇතිවන රැලි වැටීන වලක්වා ගන්නත් පුලුවන්.

විටමින් C ප්‍රතිඔක්සිකාරකයක් ලෙස

අහිතකර UV කිරණ, දුම් පානය, සමහර ආහාර පුරුදු නිසා අපේ ශරීරයේ ඔක්සිකාරක සංඝටක ප්‍රමාණය ඉහල යනවා. මෙමගින් අපේ සමේ පවතින සෛල වලට හානි වෙන්න පුලුවන්. එමගින් සමේ කුරුලෑ ලප කැලැල් ඇතිවීම, සම රැලිවැටීම සහ සම වයස්ගත වීම සිදුවෙනවා. විටමින් C මගින් මෙම ඔක්සිකාරක සංඝටක විනාශ කර සමට ආරක්ෂාව සැපයීමට පුලුවන්. ඒ වගේම කොලැජන් නිශ්පාදනයට දායක වීම මගින් දීප්තිමත් හා නීරෝගීමත් සමක් පවත්වාගන්නත් ඔයාට පුලුවන්. අහිතකර හිරු කිරණ මගින් සිදුවන හානිය වලක්වන නිසා විටමින් C කියන්නෙ sunscreen වල තිබිය යුතුම සංඝටකයක්. විටමින් C සහ විටමින් E කියන සංඝටක දෙකම එකට පවතින නිශ්පාදන වල කාර්‍යක්ෂමතාවය වැඩිය. මෙමගින් විටමින් E වලින් සිදුවන කාර්‍යභාරය වඩාත් කාර්‍යක්ෂම කීරීම නිසා අපි මේට පෙර ලිපියෙන් කතා කළ විටමින් E වලින් අපිට ලැබෙන ප්‍රයෝජනද වැඩි වෙනවා.

විටමින් C සහ සමේ කොලැජන් නිශ්පාදනය

කොලැජන් කියන්නෙ අපේ සම නීරෝගීමත්ව සහ දීප්තිමත්ව පවත්වා ගන්නත් සමේ තරුණ බව ආරක්ෂා කරගන්නත් අත්‍යාවශ්‍ය සංඝටකයක්. නමුත් වයස අවුරුදු 20න් පසු අපේ ශරීරයේ කොලැජන් නිශ්පාදනය 1% කින් අඩු වෙනව. මේ නිසා අපේ සම රැලිවැටීම සහ වයසට යාම සිදුවෙනවා. විටමින් C කියන්නෙ මේ කොලැජන් නිශ්පාදනයට අත්‍යාවශ්‍ය සංඝටකයක්. නමුත් අප ගන්න ආහාර වලින් ලැබෙන විටමින් C වලින් අවසානම කොටස තමයි සමේ කොලැජන් නිශ්පාදනයට වෙන් වෙන්නෙ. මෙම ප්‍රමාණය නීරෝගීමත් සමක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වෙන්නෙ නැත. මේ නිසා බාහිර ආලේපනයක් ලෙස විටමින් C ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.

Vitamin c for collagen
සමේ අදුරු ලප කැලැල් ඇතිවීම පාලනය

සමේ අදුරු ලප කැලැල් ඇතිවීම සදහා හේතුවෙන්නෙ සමේ පවතිම මෙලනින් කියන වර්ණකය. විටමින් C වලට මෙම මෙලනින් නිශ්පාදනය පාලනය කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසා සමේ අදුරු ලප කැලැල් ඇතිවීම පාලනය කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසා චර්ම රෝග පිලිබද වෛද්‍යවරුන් සමේ අදුරු ලප කැලැල් සදහා ලේසර් ප්‍රතිකාර, රෙටිනෝල් වලට අමතරව විටමින් C අඩංගු නිශ්පාදන නිර්දේශ කරයි. ඒ වගේම අදුරු ලප කැලැල් අලුතින් ඇතිවීම වලක්වා ගැනීමට විටමින් C අඩංගු අලේපන සමග sunscreen එකක් භාවිතා කිරීම වැදගත් වෙනවා.

සමේ ප්‍රදාහය ඇතිවීම පාලනය (Anti Inflammatory Effect)

කුරුලෑ සහ පොතු කබර (psoriasis) සහ දද (Eczema) වැනි සමේ රෝග පවතින පුද්ගලයන්ගේ සම නිතරම ප්‍රදාහය තත්වයේ(chronic inflammation ) පවතියි. මේ නිසා සමේ ආරක්ෂක බාධකයට හානි වීම සහ මෙම තත්වයන් තවදුරටත් වැඩි වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙම ආරක්ෂක බාධකයට හානි වීම නිසා සම වියලීම, නිතර සමේ ආසාදනයන්ට ගොදුරු වීම සිදුවෙන්න පුලුවන්. ඉතින් විටමින් C වලට පුලුවන් මේ සමේ ප්‍රදාහය ඇතිවීමට හේතුවන pro inflammatory cytokine කියන සංඝටකය සෑදීම පාලනය කරල සමේ ප්‍රදාහය ඇතිවීම පාලනය හා එමගින් සමට සිදුවන හානිය පාලනය කිරීමේ හැකියාව පවතියි.

විටමින් C අඩංගු ආලේපන වර්ග මොනවාද?

බොහොමයක් රූපලාවණ්‍ය නිශ්පාදන වල විටමින් C අන්තර්ගත වෙනවා. Serum, moisturizers, toners, oils, eye creams සහ cleanser ඒ අතරින් සුලබ නිශ්පාදන කිහිපයකි. නමුත් මේ අතරින් වඩාත් ප්‍රතිඵලදායක වන්නේ විටමින් C අඩංගු serum භාවිතා කිරීමයි. පහසුවෙන් සමට අවශෝෂණය වීම සහ moisturizer වැනි නිශ්පාදනයකට පෙර ආලේප කිරීමට හැකි වීම නිසා විටමින් C අඩංගු serum භාවිතයෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්. ඒ වගේම මෙය උදෑසන ආලේප කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

විටමින් C අඩංගු නිශ්පාදන සුදුසු කාටද?

විටමින් C අඩංගු නිශ්පාදන ඕනෑම වර්ගයේ සමක් සදහා සුදුසුයි. ඔයාට තරුණ හෝ මහලු සමක් තිබුනත්, වියලි හෝ තෙල් සහිත සමක් තිබුනත්, සාමාන්‍ය හෝ සංවේදී සමක් තිබුනත් ඔයාට මේ විටමින් C අඩංගු නිශ්පාදන භාවිතා කරන්න පුලුවන්.

හොද නිශ්පාදනයක විටමින් C කොපමණ සන්ද්‍රනයකින් අඩංගු විය යුතුද?

විවිධ නිශ්පාදන වල අඩංගු විටමින් C සාන්ද්‍රනය විවිධාකාරය. බොහොමයක් නිශ්පාදන වල විටමින් C 15-20% පමණ අඩංගු වෙයි. ඇතැම් නිශ්පාදන වල 30% පමණ අඩංගු බව සදහන් වෙයි.නමුත් පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන්නෙ 8-20% අතර විටමින් C සන්ද්‍රනයක් පැවතීම හිතකර බවයි. ඊට වඩා වැඩි සාන්ද්‍රනයක් පවතින විට එමගින් සමට හානි වීමේ අවදානමක් පවතියි. එම නිසා ඔයා විටමින් C අඩංගු නිශ්පාදන අලුතෙන් භාවිතා කරන්න පටන් ගන්නවා නම් අඩු සාන්ද්‍රනයක් පවතින නිශ්පාදන තෝරා ගැනීම වඩාත් සුදුසුයි.

විටමින් C අඩංගු නිශ්පාදන භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

විටමින් C හරිම අස්ථායී සංඝටකයකි. මේ නිසා හිරු එලිය, උෂ්ණත්වය හා වාතය සමග ගැටීමෙන් එහි ක්‍රියාකාරීත්වය නැති වෙයි. මේ නිසා විටමින් C අඩංගු නිශ්පාදන මිලදී ගැනීමේදී සුලං නොවදින Air tight package, pump හෝ අදුරු පැහැ බෝතල් වල අඩංගු නිශ්පාදන මිලදී ගන්න. ඒ වගේම එම නිශ්පාදනයේ ferulic acid හෝ විටමින් E අඩංගු වෙයි නම් එමගින් විටමින් C වල ස්ථායීතාවය වැඩි කරයි. ඒ වාගේම විටමින් C අඩංගු නිශ්පාදන මුලින්ම භාවිතා කිරීමේදී ඇතැම්විට සමේ කුඩා රතු පැහැ බිබිලි මතුවීමට පුලුවන්. මෙය හානිකර නොවන අතර දිගටම භාවිතා කිරීමේදී නැති වී යයි. නමුත් ඔබට යම් සැකයක් පවතින සෑම අවස්ථාවකම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

L-ascorbic acid වලට වඩා Magnesium ascorbyl phosphate සංවේදී සම සදහා වඩාත් සුදුසු වෙයි. ඔබ රෙටිනෝල් අඩංගු නිශ්පාදන භාවිතා කරන්නේ නම් එම නිශ්පාදනය හා විටමින් C අඩංගු නිශ්පාදනය එකම දින භාවිතා කිරීමෙන් වලකින්න. දවසක් හැර දවසක් භාවිතා කිරීමෙන් මෙම සංඝටක දෙකම එක විට භාවිතා කිරීමෙන් සමට සිදුවිය හැකි හානිය වලක්වා ගන්න පුලුවන්. ඒ වගේම salicylic acid සහ glycolic acid අඩංගු නිශ්පාදන භාවිතා කරන්නේ නම් එදිනම විටමින් C අඩංගු නිශ්පාදන භාවිතා කිරීමෙන් වලකින්න.

විටමින් C සහ රෙටිනෝල් එකවර භාවිතා කරන්න පුලුවන් ද?

පුලුවන්, නමුත් එය ඔබ බොහොම ඉවසීමෙන් කළ යුතුය. එසේ නොවුනොත් ඔබගේ සමට හානි වීමට පුලුවන්. විටමින් C වලට රෙටිනෝල් වලට වඩා අඩු pH අගයක් පවතින නිසා විටමින් C අඩංගු නිශ්පාදනය මුලින් ආලේප කර විනාඩි 30 පමණ සමට උරා ගැනීමට සැලැස්විය යුතුය. එමගින් එය රෙටිනෝල් සමග ප්‍රතික්‍රියා කිරීම වලක්වා ගන්න පුලුවන්. එසේ නැතහොත් විටමින් C සහ රෙටිනෝල් වෙන් වෙන් දිනවල භාවිතා කිරීමට පුලුවන්.

විටමින් C ගර්භණී සමයේදී සුදුසුද?

ඔව්. විටමින් C අඩංගු නිශ්පාදන ගර්භණී සමයේදී ආරක්ෂිත ලෙස භාවිතා කළ හැකිය. නමුත් ගර්භණී සමයේදී අලුතින් යම් නිශ්පාදනයක් භාවිතා කිරීමට පටන්ගන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.

දෙහි යුෂ විටමින් C ආදේශකයක් ලෙස භාවිතා කළ හැකිද?

එය ආදේශකයක් ලෙස අනුමත කළ නොහැකිය. දෙහි යුෂ වල විටමින් C අන්තර්ගත වුවත් එහි අධික ආම්ලිකතාවය නිසා සමේ ස්වාභාවික ආරක්ෂක බාධකයට හානි සිදුවෙන්න පුලුවන්.

ඉතින් මේ ලිපිය මගින් ලස්සනට ඉන්න ඕන ඔයාට විටමින් C ගැන දැනගැනීමට අවශ්‍ය සියලුම කරුණු අපි කතා කළා. ඉදිරියට විටමින් C අඩංගු නිශ්පාදනයක් මිලදී ගැනීමේදී මේ කරුණු ගැන සැලකිලිමත් වුවහොත් ඔබ ලබා ගන්න නිශ්පාදනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔයාටත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× Contact your Doctor